මල්ලිගේ විත්ති



පුළුවන් නම් හොයාගෙන කියවන්න. ගුණදාස ලියනගේ මහත්තයා ලියලා තියන අපූරු පොතක් තමයි මල්ලිගේ විත්ති කියන්නේ. (පටලවා ගන්න එපා ගුණදාස ලියනගේ හරිය, ගුණදාස අමරසේකර ලොක්කා නෙවෙයි )
මේ පොත මම මල්ලි කියෙව්වෙ ඉස්කෝලේ අටේ නමයේ පන්තියේ ඉන්න කාලේ. හරිම ලස්සන කතා එකතුවක්. ප්‍රධාන චරිතෙ මල්ලි. මල්ලිගේ පාසල් කාලයේ සහ  ගැමි ජීවිතයේ අම්බානක රස කතා එකතුවක් මේකෙ තියනවා. ගුලි මහත්තයා කොහොම ලිව්වද හිතාගන්න බෑ. මාරම හාස්‍ය රසයක් තියෙන්නේ.
මතක විදිහට එකක් දෙකක් කියන්නම්.
මල්ලිලාගේ ඉස්කෝලේ හොස්ටල් එකේ බල්ලෙක් ඉන්නවා, ඌ දුඹුරු පාටයි ඒ කියන්නේ සමර පාටයි. සමර පාට බල්ලා කියලා කාලයක් කතා කරනවා. ඊට පස්සේ සමර පාට බල්ලා සමරපාල වෙනවා. සමරපාල ඉස්කෝලෙ උදේ රැස්වීමට එනවලු. විදුහල්පතිතුමා ස්ටේජ් එකේ කතා කරනකොට සමරපාල ස්ටේජ් එකටත් නගිනවලු. දවසක් ඉතින් හොස්ටල් එකේ කොල්ලො ටික කතා වෙනවලු, බල්ලා උනත් ඉස්කෝලෙ යනවනම් යුනිෆෝම් අඳින්න එපෑ නැද්ද. ඊට පස්සේ සඳුදා කොල්ලෝ ටික පරණ කලිසමක් සමරපාලට ඇන්දුවලු. සිප් එක දාන තැනින් වලිගය එලියට දැම්මලු. කොල්ලොන්ගේ හොස්ටල් එකේ බල්ලත් කොල්ලො වගේම පිස්සු ඩයල් එකක්. ඉතින් ප්‍රින්සිපල් සර් රැස්වීම අමතනකොට පිටිපස්සෙන් කලිසමක් ඇඳගත්ත  සමරපාල ස්ටේජ් එකට නැගලා ඇවිදිනවලු, කොල්ලො ටික දැක්කම වලිගය වන වන ඇවිදිනවලු. ප්‍රින්සිපල් සර්ට පිටිපස්සේ මේ විකාරෙ පෙනෙන් නෑ, හැබැයි මුළු රැස්වීමේ අනික් ඔක්කොටම සමරපාලව පේනවා. කතාවෙ ඉතුරු ටික හිතාගන්න. ගුලි මහත්තයා වගේ ලස්සනට ලියන්න මට බෑ.

තව එකක්, ඉස්කෝලෙ පොඩි පන්තියක ළමයෙක්ව ප්‍රින්සිපල් ලඟට ගේනවා, ඒ ළමයා ඇස් උඩ ගිහින් බය වෙලා හුස්ම ගන්නෙත් අමාරුවෙන්.ඇයි කියලා අහනකොට කියනවා, සර් මෙයා ලොකු ලොසින්ජර් එකක් කන්න ගිහින් ගිලිලා උගුරේ හිර කරගෙනලු.
මොනවා කරන්නද ප්‍රින්සිපල් සර් ඉක්මනට ලොකු පන්තියක ළමයෙක්ට එන්න කියනවා, කතා නායකයා තමයි එන්නේ, ප්‍රින්සිපල් සර්ගේ පුස් බයිසිකලේ දීලා කියනවා ඉක්මනට ඉස්පිරිතාලෙට එක්ක යන්න කියලා. බයිසිකලේ ලොසින්ජරය හිර කර ගත්ත පොඩි ළමයවත් ඩබල් දාගෙන මල්ලි වේගෙන් පැදගෙන යනවා. පොඩි ළමයත් කතාවක් නෑ ඇස් උඩ ගිහින් හූස් හූස් ගගා හුස්ම ගන්නව කතා බහක් නෑ. මල්ලිත් බය වෙලා වේගෙන් බයිසිකලේ පදිනවා. ඔහොම යනකොට පල්ලමක් අහුවෙනවා, ඒකෙ පහලට යනකොට තමයි ප්‍රින්සිපල් සර්ගෙ බය්සිකලේ බ්‍රේක් නෑ කියලා තේරෙන්නේ. වංගුවක් ගාවින් තඩි ලොරියක් මූනට හම්බුනා, ඉඩ නෑ ඇල්ලුවා කානුවට, බයිසිකලෙයි ආපු දෙන්නයි කානුවේ. විගහට නැගිටලා බයිසිකලේ මඩ එහෙම පිහදලා ආපහු යන්න පිටත් උනා. ටිකක් දුර යනකොට අර පොඩි ළමයා අහනවලු ලොසින්ජරේ ගන්න බඩ පලයිද දන්නෑ නේ කියලා. මල්ලි ඇහුවලු මෙච්චර වෙලා හුස්ම ගන්නත් බැරිව කතා කර ගන්න බැරිව හිටපු එකා කොහොමද කතා කලේ කියලා. ඒත් එක්කම ඇහුවලු උගුරේ හිර වෙච්ච ලොසින්ජරේ ගන්න බඩ පලන්නේ මොකටද කියලා.
පොඩි ළමයා කිව්වලු බයිසිකලේ පෙරලෙද්දි උගුරේ තිබ්බ ලොසින්ජරේ ජුක් ගාලා බඩට ගියා කියලා. ලොසින්ජරේ බඩට ගියානම් ඉස්පිරිතාලෙ යන්නේ මොකටද කියලා දෙන්නා ආපහු ඉස්කෝලෙට ආවලු. එදා ඉඳන් ප්‍රින්සිපල් සර් තීරණය කලාලු ලොසින්ජර හිර කර ගත්තොත් ප්‍රතිකාරෙ හැටියට  මල්ලිත් එක්ක බයිසිකලේ ඩබල් දාලා පල්ලමක යවන්න.

ඉතා සිත් ඇදගන්නා සුළු බස් වහරක් මෙන්ම ගැමි සමාජයේ අව්යාජ ආතල් සිදුවීම්  බොහොම සරළ භාෂාවකින් මේ පොතේ විස්තර කරලා තියනවා.

 මගේ ගාව මේ පොත තිබ්බා, ඉතින් මක්කද උනේ.
අපේ සර් කෙනෙක් මට සොලෝකයක් කියලා දුන්නා

ස්ත්‍රී රත්නම්
පුස්ථක රත්නම්
පර හස්ත ගතම්
ගතම් ගතම්

තේරුම තමයි, ස්ත්‍රී රත්නයක් හෝ පොතක්  පර හස්ත/ වෙනත් කෙනෙකුගේ අතට ගියොත්  ගියාම තමයි පුතී.
පොත පරහස්ථ ගතම් උනා

Comments

Popular posts from this blog

සින්දුවක් ගැන හිතෙන දේවල්

සිංහල සින්දුවල සැඟවුනු අරුත්