සින්දුවක් ගැන හිතෙන දේවල්



මේක එක අතකට අසාධාරණ සින්දුවක්.සුනිල් එදිරිසිංහ මහත්තයා ගයන අපූරු ගීතයක්. සින්දුවක තේරුම ඒ සින්දුව අසන්නාට ඕන විදිහට හිතාගන්න ඇහැකි කියලා කවුදෝ කියනවා මට ඇහිලා තියනවා. අහන කෙනා අනුව වෙනස් වෙනස් තේරුම් ගොඩක් ඇතිවෙනව නම් ඒක සාර්ථක ගීතයක්ලු. මේකයි ගීතය

තිරය ඇරනවා තිරය වැහෙනවා
ඔලිවරසන් හඩ පැතිරෙනවා
සදලු තලෙන් බැසමානවිකාවන්
තාලෙට ඉග සුග නටවනවා

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනහෙන දරැවෝ
ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති
කුඹුරක් ඇස නොගැටුන දරැවෝ

තිරය ඇරනවා තිරය වැහෙනවා

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරලිය අභියස බලා හිදියි

තිරය ඇරනවා තිරය වැහෙනවා

අහන අයට හිතෙන්නේ ගමේ ගොඩේ ඉපනැල්ලේ ඇලේ දොලේ දුව පනින දුවා දරුවන්ට නැති වරප්‍රසාදයක් නගරේ දරුවන්ට තියනවා, ඒ හින්දා හැමෝම කියනවා වගේ කොළඹට කිරි ගමට කැකිරි වගේ ගමේ ළමයි ටික කරළිය අබියස බලා ඉන්නවා විතරද?

තිරය ඇරෙනවා තිරය වැසෙනවා ඒ කියන්නේ අවස්ථාවන් ලැබෙනවා නොලැබෙනවා වගේ කතාවක්.පළමු පද කීපය ලොකු අවුලක් නෑ.

ඇයි එහෙනම් මේ ගීතය අසාධාරණයි කියන්නේ? දෙවැනි පද පෙල

කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති
නල වතුරෙන් සැනහෙන දරැවෝ
ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති
කුඹුරක් ඇස නොගැටුන දරැවෝ

පොඩි ඉරිසියාවකුත් ඔය පද පෙලේ නැතුවාම නොවේ. අපිට මේ දේවල් ඔක්කොම තිබිලත් ඒ එකක්වත් නැති එවුන් රඟන අපූරුව කියලා කියවෙන් නැද්ද අම්මපා? ඒකත් හරියට  අර පහේ සිස්සත්තෙ ඉවර වුනාම තමන්ගේ දරුවට පුළුවන් තරම් ටියුසන් දීලා ඒ මදිවට අම්මා ගුරුවරියක් නම් විභාගෙ වෙලාවෙ ඉන්න ගුරුවරියක්ට කියලා උදවුත් කරලා,අන්තිමට  තමන්ගේ එකා යාන්තම් එක ලකුනෙන් විබාගෙ පාස් වෙලා, ගුරුවරු මැට්ටා කිය කිය හිටපු එකෙක් හොඳට පාස් උනාම ඌ කෙරේ  ඇතිවන ඉරිසියාව වගේ එකක්.ඉතින් හත්වලාමෙ අධ්‍යාපනේ කියන්නේ හැම දේම දැකලා අල්ලලා ඉගෙන ගන්න එක නෙවෙයිනේ. ටැප් එකෙන් වතුර ගන්න ළමයා කළ ගෙඩි නැටුම අපූරුවට කරනවා කියන්නේ කොච්චර හොඳද? ඒ ළමයා ලැබූ අධ්‍යාපනය අපූරුයි කියලා නෙවෙයිද? කොල බිමක් ගොයම් කයියක් තියා කුඹුරක් දෑහැට නොදැකපු පර්චස් දහයේ, තට්ටු ගෙවල්වල ළමයි ගොයම් නැටුමක් නටනවා කියන්නේ කොයි තරම් අපූරුයිද? ඒ නැටුම පුරුදු කරපු ගුරුතුමා කොච්චර සතුටු වෙන්න  ඕනෙද? ඒක නෙවෙයිද අපේ අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්න ඕනෙ. ගීතයෙන් ඒ පැදි හතර ඇහෙන්නේ නිකම්  චෝදනාවක් වගේ. උන් මේවා දැකලත් නැතිව කොරන හැටි වගේ. එතකොට ආයිබොවන්ඩ ඔය ඉස්කෝල වල  ග්‍රහලෝක ගැන හෙම උගන්වන්ඩ ප්‍රශ්න අහන්ඩ ඇහැක? කාටහරි කියන්ඩ පුළුවන්නේ අඟහරු බුද ගැන උගන්වනව ඇත වලාකුලක් නොදකපු ගොයියෝ කියල හිටං.
එකෙක් නෑ අර ටැප් එකෙන් වතුර බීලා, පර්චස් දහයෙ කොටු වෙලා ගමේ එවුන්ට ඇති ළමා කාලෙ නැති පොඩි එව්වො ටික අර අපූරුවට නටන කලගෙඩි නැටුම ගොයම් නැටුම ගැන වචනයකින් අගේ කරන්න.

අන්තිම පද පෙල

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරලිය අභියස බලා හිදියි

මේකෙත් පොඩි බොරුවක් තියනවා. අර සදාතනික කොළඹට කිරි ගමට කැකිරි තර්කයක් තමයි දාන්නෙ. නිකමට හොයලා බලන්න, සමස්ථ ලංකා නැටුම් ගායන වාදන නර්තන තරඟවල දිනන්නේ කවුද කියලා? බොහෝ විට ඒවායින් ජය ගන්නේ මහා විද්‍යාල කනිටු විදුහල් දුශ්කර පාසැල් තමයි. ටවුමෙ ලොකු කොලීජි ඒ තරඟ වලින් දිනනවා දකින්නේ කලාතුරකින්. මේ පද පෙලෙහි කරලිය හිමි නැති අපේ ළමයි  කියන පේලිය දෙපැත්ත කැපෙන කඩුවක් වගේ? ළමයි කවුරුත් ළමයි. ගමේ ළමයි විතරද අපේ ළමයි ? ටවුමෙ ටැප් වතුර බොන ළමයි ඇමරිකාවෙ එංගලන්තෙ අරාබියෙ එවුන්ගෙ ළමයිද? උනුත් අපේ ළමයි නෙවෙයිද? ඔන්න වැඩිහිටියො ළමා ලෝකය බේද කරන්න පටන් ගන්න තැන.
පොඩි ප්‍රශ්නයකුත් නැතුවාම නෙවෙයි, නිදහස් අධ්‍යාපනය කිව්වට ඒක බෙදී යාම විශමයි නේ, පහසුකම් තියන පැතිවල හෙවත් ටවුමේ ඉස්කෝලෙ ගුරු අතිරික්තයක් තියනකොට ගමේ පොඩි ඉස්කෝලවල බෙහෙතකටවත් ගුරුවරයෙක් නෑ.  ඒ අතින් ගත්තම පොඩි අසාධාරණයක් බොහෝම අතලොස්සක් දුශ්කර පාසල් දරුවන්ට තියනවා. නමුත් ඒ ප්‍රමානය ඉතාම පොඩ්ඩයි. නූතන සන්නිවේදනය ප්‍රවාහනය අනන් මනන් දියුනුව නිසා බොහෝ දුරට ගමේ ළමයින්ටත් අධ්‍යාපනයේ සම ඵල නෙලාගන්න පුළුවන්. මෙතනදී අර වතුරේ බැහැගෙන, අලි ඉන්න පාරවල් හරහා, ඒදධු හරහා ගිහින් ඉස්කෝලෙට යන සුළුතරය ගැන නම් ඉතාම දුකයි මොකද උනන්දුව තිබුනත් බාහිර සාධක නිසා ඔවුන්ට කරළිය අහිමි වීම.
ඒ උනත් බහුතරය සැලකුවාම, දරුවන්ගේ උනන්දුවත් දෙමාපියන්ගේ අවධානයත් තියනවා නම් ළමයින් බහුතරයකට කරළිය අබියස බලා ඉන්නවත්  හේනට කුඹුරට ගත සවි දිය කරන්නවත් ඕන වෙන්නේ නෑ, කොටින්ම කියනවා නම් උනන්දුව උත්සාහය තියනවා නම් කරළිය අහිමි කරන්න කාටවත් බෑ. කරලිය අහිමි වීමට වෙන වෙන අයට බැනලා වැඩක් නෑ     

Comments

Popular posts from this blog

මල්ලිගේ විත්ති

සිංහල සින්දුවල සැඟවුනු අරුත්